Showing posts with label MRI. Show all posts
Showing posts with label MRI. Show all posts

5/26/2011

ඉලන්දාරියා බ්ලොග්කරුවෙකි.

ඉලන්දාරියා කවුද කියා හේත්තුහාමි දැනගන්නේ ඉලන්දාරියාම ලියූ පෝස්ට් එකකින් පසුවය. මේ සටහන ලියවෙන්නේ ඉලන්දාරියාගේ වියෝව ගැන සාතිශය සංවේගය පල කිරීමට නොවේ. අපි හැමෝටම යන්න වෙන නිසා ඉලන්දාරියාට යන්නට සිදුවිය. ඒ ගැන අද හැම බ්ලොග් එකකම වගේ කඳුලු හැලෙනු ඇත. සමහර කඳුලු විකාර කඳුලුය. සමහර ඒවා ඇත්තටම වැටුන කඳුලුය. ඒවා හේත්තුහාමිට අදාල නැත.
සෑම බ්ලොග් අඩවියකම ශෝක ප්‍රකාශ නිකුත්විය. සමහර ඒවා තමන්ගේ දීප්තිය වැඩි කරගැනීමට ලියවුන ඒවාය. අනික්වා ඇත්තට ලියවුන ඒවාය. වරදක් නැත. තාමත් ලංකාවේ අවමංගල්‍ය පැවැත්වෙන ගෙදර තාප්පය හෝ වැට බැනර් වලින් වැසී ඇත. ඒවායේ ඇත්තේ මාකටිංය. අර කොම්පැනියෙන් ශෝක ප්‍රකාශ නිකුත්කර ඇත. අර සංගමයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කර ඇත. බ්ලොග් වලත් සිදුවී ඇත්තේ මෙයයි. මෙය මාකටිංය. තමන්ගේ බ්ලොග් එකේ ඉලන්දාරියා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් නොකලේ නම් එය තමන්ගේ බ්ලොග් එකට හොඳ නැත (අනික් එවුන් මොනා හිතයිද?) කියන පැනය මත බොහොමයක් බ්ලොග් වල ඉලන්දාරියා ගැන වචනයක් ලියවුනි. ඒවා බොහොමයක් බොරු ආටෝපයන්ය. තැනක ඉලන්දාරියාගේ කඩවසම් බව ගැන ලියවේ. තැනක ඉලන්දාරියාගේ හොඳ ගතිගුණ ගැන ලියවේ. ඒවාට අනුව නම් ඉලන්දාරියා යනු සාමාන්‍ය මිනිසුන් නොකරන දේවත්වයට ආසන්න චරිතයකි.
ඕනි කෙනෙකුට මේක ඉලන්දාරියාට කරන අපහාසයක් කියා වර්ග කරගන්නට පුළුවන. නමුත් හේත්තුහාමි සඳහන් කලේ මෙහි සිදුවන දේය. අද කාලයේ විකුණනවානම් කඳුලු වුවද කම් නැත. මේ විකුණනවා යන්න සල්ලි වලට විකිණීම පමණක් නොවන බව කිව මනාය.
ඉලන්දාරියාගේ සැත්කමට සියළුදෙනා ඇප කැපවන්නේ සද්භාවයෙනි. ඉන් සෑහෙන මුදලක් බ්ලොග් කරුවන් විසින් සොයා ගන්නා ලදී. ඒ මුදල් සොයන්නේ කර්ණසංඛ බද්ධයකටය. නමුත් අදාල MRI පරීක්ෂණයට පසු මොලේ ගෙඩියක් ලෙස අප හඳුන්වන (Tumour) එකක් නිසා ඉලන්දාරියා රෝහලට ඇතුලත් වන්නේ එය ඉවත් කිරීමේ සැත්කමකටය. ගැටළුව ඇත්තේ මෙතැනය. ඉලන්දාරියාට සැබවින්ම ගැටළුව තිබී ඇත්තේ කර්ණසංඛයේද නැත්නම් ඉලන්දාරියාගේ ශ්‍රවණ ආබාධය තිබී ඇත්තේ උක්ත මොලේ ආබාධය නිසාද? එය සිදුවී ඇත්තේ මොලේ ගෙඩිය නිසා නම් කර්ණ සංඛයේ ආබාධයක් යැයි රෝග නිර්ණය කලේ කවුද?
හේත්තුහාමි සැබැවින්ම සිදුවී ඇත්තේ කුමක්දැයි නොදනී. සටහන ලියවෙන්නේ අදාල සමීපතමයින් සමග සාකච්ඡා කර ගොනුකරගත් කරුණු ඇසුරු කරගෙනය.
කෙසේ වෙතත් දැන් ඉලන්දාරියා නැත. සිදු වූ දේ සිදුවී ඇත. මේ කඳුලු වියලී යාමට මත්තෙන් ඒ කඳුලු වලට අගයක් දීමේ කාලය කාට කාටත් උදාවී ඇත. එවිට ඉලන්දාරියාට සාධාරණයක් ඉටුවනු ඇත. හේත්තුහාමිට කාට සාධාරණයක් වුනත් නැතත් කමක් නැත. ඒත් මෙහි සටහන් වුනේ සිදුවිය යුත්තය.