5/25/2011

එන්න කරුණාව වපුරවන්න..

සම්බුද්ධත්ව ජයන්තිය ඊයේ ඉවරවුනි. බඩු මිල ගැන ආයි ඔළුවට ආවේ ඊයේ හවසය. දැන් හෙට ඉඳන් ආයි ජයන්තයාගේ තාත්තාගේ ලොකුපාට් බැලිය යුතුය. ජයන්තයාගේ තාත්තාත් මරු පොරකි. බඩු මිල අඩු නම් ඕනෑ එකෙක් හොඳය. යුද්දෙ දිනකොට කිරිබත් කයි. බඩු මිල වැඩිවෙනකොට රාජයෝත්තමයානන්ට පලු යන්න බනී.
එහා ගෙදර සුද්දීගේ ලමයාට ඩෙංගුය. ඌ නම් තව දවස් දෙකකට වඩා ඉන්න පුළුවන් පාටක් නැත. දැනටම මැසිමෙන් දුවයි. සිහියක් පතක් නැත. අපරාදේ මේ පාර විස්ස විද්‍යාලෙට යන්න උන්නේ. ඌ ගියානම් අපිටත් වත්තේ එකෙක් හරි විස්ස විද්‍යාලෙට ගියා යැයි පාරම් බාන්නට තිබුනි. පත්තරේ හැටියටනම් මාසෙකට ඩෙංගු හැදෙන්නේ එකෙක් දෙන්නෙක්ටය. සිරිපාල උන්නැහේගෙත් ගනන් කිරිල්ලට අනුව ඩෙංගු හැදෙන්නේ මාසෙකට තුන් හතර දෙනෙක්ටය. එක අතකට උන්නැහේ මහන්ද අබේසුන්දර ලොක්කාට වඩා හොඳය. උන්නැහැ අඩු ගානේ ඩෙංගු මිනිස්සුන්ට හැදෙනවා කියලාවත් කියනවා නොවැ.කළුබෝවිල ඉන්න දොස්තරලා බොරුකාරයෝය. වාට්ටුවේම ඩෙංගු හැදිච්ච එවුන් විස්සකට වඩා වැඩිය. එක්කෝ උන් ආතල් එකට ඉස්පිරිතාලයේ ඇඳක බුදියාගන්න ආපු එවුන් වෙන්නටත් පුළුවන්ය. කාලෙකට ඉස්සර අර බැක්ටීරියාවක් ගේනවා කියලා කවුද කිව්වේය. ඒත් ඉතින් ඒකට ගිය කලක් නැත. අප්‍රිකාවේ මැලේරියාව පැතිර යනකොට ඒ වසංගතය නැවැත්තුවේ ඔය බැක්ටීරියාවෙන්ලුනේ. මම හිතන්නේ ලංකාවේ මදුරුවොන්ට ඕක හරියන්නේ නෑ. සේසතම විකුණලා හරි මදුරු කොයිල් පත්තු කරගෙන ඉන්නනෙ තියෙන්නේ. එතකොට මදුරුවොත් නෑ ඩෙංගුත් නෑ.
ඕකට රජයට බැනලා වැඩක් නැත. සිරිපාල උන්නැහේට ලංකාවේ ලෙඩ ඔක්කොම බලන්න වෙලාවක් නෑනේ ආයුබෝං. දවසකට තියෙන්නේ පැය විසිහතරනේ ඉතිං.
කොහොමහරි එහාගෙදර සුද්දිගේ කොල්ලා හෙට අනිද්දා ස්වර්ගස්ථ වෙනු ඇත. ඌ ගැන පත්තරේ වාර්තාවකුත් යනවා ඇත. ඌට මල කඳ උඩින් සුදු හුනු ගානු ඇත. ආයි ඩෙංගු වලින් එකෙක් මැරෙනු ඇත්තේ ලබන මාසයේය. බැක්ටීරියාව එන පාටක් නැත. අපි කොයිල් පත්තු කරමු. මුලින් ඩෙංගු මාරයාගෙන් ගැලවෙමු. ඊට පස්සේ සිරිපාල උන්නැහේ අපිට කොයිල් වලින් හැදෙන ලෙඩට බෙහෙත් ලබාදෙනු ඇත.

No comments: