5/27/2011

හමුදා පුහුණුව හා සරසවි සිසුවා...

දැන් යුද්ධය ඉවර වී අවුරුදු දෙකකි. සිව්වන ඊලාම් යුද්ධය සමග ඇතිවුන මිලිටරි නැඹුරුව මත හමුදාකාරයා රණවිරුවෙකු වී රටේ සියළු දේ මිලිටරිකරණය වීම සිදුවුනි. අද ජනාධිපතිතුමාගේ සිට හැමදෙනාම විකුණන්නේ ජාතියයි. ඒක සල්ලිවලට විකිණේ ජනප්‍රියත්වය වෙනුවෙන් වෙන්දේසි වේ. අළුත්ම සිද්ධිය සරසවි සිසුන්ට මිලිටරි පුහුණුවක් දීමය. සාමාන්‍යෙයන් මිලිටරි පුහුණුවක හේත්තුහාමි දන්නා අරමුණු කිහිපයකි.
  • ක්‍රියාන්විත වලදී ඇතිවන හදිසි තත්වයන් උදෙසා හමුදා භටයා සූදානම් කිරීම.
  • එම අවස්ථාවලදීම ඇතිවන පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් කිරීම.
  • ප්‍රතිවාදියා නසා දැමීම සඳහා මනස සූදානම් කිරීම.
ඉන්දියානු පකිස්ථාන යුද්ධයේදී පකිස්ථානයට ඉන්දියානු භටයා සතුරෙකි. ඉන්දියාවට පකිස්ථානු භටයා සතුරෙකි. නමුත් ඔය දෙපාර්ශවයටම අදාල නැති එකෙක්ට දෙන්නාම එකම ජාතියේ එවුන්ය. යුද්ධය එසේය. එසේනම් සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව දීමේ පරමාරථය කුමක්ද?
හමුදාවට ලබාදෙන මිලිටරි පුහුණුව ඔවුන්ගේ අදාල පුහුණු කාලසීමාවට පසු භාවිතා වේ. එනම් යුද්ධයේදී එය වැදගත් වේ. නමුත් සරසවි සිසුන්ට අදාල කාලසීමාවට පසුව අධ්‍යාපන කටයුතු සඳහා අදාල ක්‍රියාකාරකම් භාවිතා නොවේ. එනිසා මෙහිදී අදාල නායකත්ව පුහුණුව සරසවි සිසුන්ට වැදගත් එකක් විය යුතුය. කෙසේ වෙතත් නියම හමුදාවේ නම් ලොක්කාට යටත් වීම සීනියර් ලාට නැමීම යන සංකල්ප ඕනිවටත් වඩා ඇති නිසා ඔය කියන නායකත්ව පුහුණුවට අවශ්‍ය ස්වාධීනත්වය ලැබේදැයි යන්නත් සැක සහිතය..

No comments: