5/31/2011

ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.

ජැක්සන් ඇන්තනී ලංකාවේ හොඳයි කියන්නට පුළුවන් නළුවන් කිහිපදෙනාගෙන් එකෙකි. අග්නිදාහය, ගරිල්ලා මාකටිං නැරඹුවානම් ඔබට මෑතක ජැක්සන්ගේ රඟපෑම ගැන කියන්නට හේත්තුහාමිට අටුවාටීකා ඉතුරුනොවනු ඇත. දැන් ජැක්සන් අළුත් රංගනයක් කරයි. ඒ දේශපාලනික රංගයයි. ජැක්සන්ට හොඳ කථිකත්වයක් ඇත. බලන්න ජැක්සන් ගෞතමගෙයි, අති රාජෝත්තම මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් ගේ නෑකම ඔප්පු කරන අපූරුව. අදාල වීඩියෝව බලා සිතට එන දේ කිව්වොත් හේත්තුහාමිත් නවතින්නේ ඇසිඩ් බැරලයක් තුල නිසා ඒ පිළිඹඳ විවේචන නරඹන්නන්ට බාරදී මම වීඩියෝ එක දමා මාරුවෙමි..



සුද්දෝදනගේ සහෝදරයා අමිතෝදන
අමිතෝදනගේ දරුවා පණ්ඩුශාක්‍යා
පණ්ඩුශාක්‍යාගේ දියණිය භද්දකච්චායනා
භද්දකච්චායනා පඬුවස්දෙව්ගේ භාර්යාව
පඬුවස්දෙව්ගේ දියණිය උන්මාද චිත්‍රා
උන්මාද චිත්‍රාගේ කුසේ පණ්ඩුකාභය බිහිවේ.
පණ්ඩුකාභයගේ පුත්‍රයා මුටසීව
මුටසීවගේ පුත්‍රයා දේවානම්පියතිස්ස
දේවානම්පියතිස්සගේ සහෝදරයා මහානාග
මහානාගගේ සහෝදරයා යටාලතිස්ස
යටාලතිස්සගේ සහෝදරයා ගෝඨාභය
ගෝඨාභයගේ පුත්‍රයා කාවන්තිස්ස
කාවන්තිස්සගේ පුත්‍රයා ගැමුණු.
රාජෝත්තමයානන්ගේ මීමුත්තා ගැමුණු.
අපේ අක්කාගේ ලොකුපුත්‍රයා මේ වර උසස් පෙල කරයි. ඌ ඔප්පු කරන ගණන් හදන ජිල්මාට් ක්‍රමයක් ඇත. ඌ උඩ සිට පහලට පුළුවන් තාක් ගණන සාදාගෙන යයි. හිරවුන විටදී පහල සිට උඩට ගාණ සාදාගෙන යයි. අවසානගේ දෙක එකතු කරයි. ජැක්සනුත් සිදුකලේ එයදැයි හේත්තුහාමිට සිතේ. නැත්නම් එකපාර ගැමුණු රාජෝත්තමයානන්ගේ මීමුත්තා වුනේ කොහොමද? ගැමුණුට එච්චර ගෞරවයක්!!!!!!

ඉතින් ජැක්සන්....  මේ දේශපාලන ප්‍රවාහයට උඹ අත්‍යාවශ්‍ය ඉත්තෙකි. මොකද ඒ ඉත්තාගෙන් සෑහෙන ප්‍රතිවාදී ඉත්තන් කැපිය හැකි නිසාය. ජැක්සන් උඹ අපිට ආඩම්බරයකි. උඹට කබරගොයා තලගොයා කිරීමට හොඳ හැකියාවක් ඇත. ජැක්සන් කවුද කියා හේත්තුහාමි හඳුනා ගන්නේ රාජෝත්තමයානන් නිසාය. ප්‍රේමතිලකව හේත්තුහාමි හරිහැටි හඳුනා ගන්නේ රාජෝත්තමයානන් නිසාය. මේ දෙන්නෙකු පමනි. තවත් උන් අනන්තවත් ඇත. ඒ කර ගත්තා වූ කුසල බලයෙන් අප මහා මහන්ද රාජපක්ෂ ශ්‍රීමතානන්හට තවත් චිරාත් කාලයක් බලයේ වැජඹෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු

5/27/2011

හමුදා පුහුණුව හා සරසවි සිසුවා...

දැන් යුද්ධය ඉවර වී අවුරුදු දෙකකි. සිව්වන ඊලාම් යුද්ධය සමග ඇතිවුන මිලිටරි නැඹුරුව මත හමුදාකාරයා රණවිරුවෙකු වී රටේ සියළු දේ මිලිටරිකරණය වීම සිදුවුනි. අද ජනාධිපතිතුමාගේ සිට හැමදෙනාම විකුණන්නේ ජාතියයි. ඒක සල්ලිවලට විකිණේ ජනප්‍රියත්වය වෙනුවෙන් වෙන්දේසි වේ. අළුත්ම සිද්ධිය සරසවි සිසුන්ට මිලිටරි පුහුණුවක් දීමය. සාමාන්‍යෙයන් මිලිටරි පුහුණුවක හේත්තුහාමි දන්නා අරමුණු කිහිපයකි.
  • ක්‍රියාන්විත වලදී ඇතිවන හදිසි තත්වයන් උදෙසා හමුදා භටයා සූදානම් කිරීම.
  • එම අවස්ථාවලදීම ඇතිවන පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් කිරීම.
  • ප්‍රතිවාදියා නසා දැමීම සඳහා මනස සූදානම් කිරීම.
ඉන්දියානු පකිස්ථාන යුද්ධයේදී පකිස්ථානයට ඉන්දියානු භටයා සතුරෙකි. ඉන්දියාවට පකිස්ථානු භටයා සතුරෙකි. නමුත් ඔය දෙපාර්ශවයටම අදාල නැති එකෙක්ට දෙන්නාම එකම ජාතියේ එවුන්ය. යුද්ධය එසේය. එසේනම් සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව දීමේ පරමාරථය කුමක්ද?
හමුදාවට ලබාදෙන මිලිටරි පුහුණුව ඔවුන්ගේ අදාල පුහුණු කාලසීමාවට පසු භාවිතා වේ. එනම් යුද්ධයේදී එය වැදගත් වේ. නමුත් සරසවි සිසුන්ට අදාල කාලසීමාවට පසුව අධ්‍යාපන කටයුතු සඳහා අදාල ක්‍රියාකාරකම් භාවිතා නොවේ. එනිසා මෙහිදී අදාල නායකත්ව පුහුණුව සරසවි සිසුන්ට වැදගත් එකක් විය යුතුය. කෙසේ වෙතත් නියම හමුදාවේ නම් ලොක්කාට යටත් වීම සීනියර් ලාට නැමීම යන සංකල්ප ඕනිවටත් වඩා ඇති නිසා ඔය කියන නායකත්ව පුහුණුවට අවශ්‍ය ස්වාධීනත්වය ලැබේදැයි යන්නත් සැක සහිතය..

5/26/2011

ඉලන්දාරියා බ්ලොග්කරුවෙකි.

ඉලන්දාරියා කවුද කියා හේත්තුහාමි දැනගන්නේ ඉලන්දාරියාම ලියූ පෝස්ට් එකකින් පසුවය. මේ සටහන ලියවෙන්නේ ඉලන්දාරියාගේ වියෝව ගැන සාතිශය සංවේගය පල කිරීමට නොවේ. අපි හැමෝටම යන්න වෙන නිසා ඉලන්දාරියාට යන්නට සිදුවිය. ඒ ගැන අද හැම බ්ලොග් එකකම වගේ කඳුලු හැලෙනු ඇත. සමහර කඳුලු විකාර කඳුලුය. සමහර ඒවා ඇත්තටම වැටුන කඳුලුය. ඒවා හේත්තුහාමිට අදාල නැත.
සෑම බ්ලොග් අඩවියකම ශෝක ප්‍රකාශ නිකුත්විය. සමහර ඒවා තමන්ගේ දීප්තිය වැඩි කරගැනීමට ලියවුන ඒවාය. අනික්වා ඇත්තට ලියවුන ඒවාය. වරදක් නැත. තාමත් ලංකාවේ අවමංගල්‍ය පැවැත්වෙන ගෙදර තාප්පය හෝ වැට බැනර් වලින් වැසී ඇත. ඒවායේ ඇත්තේ මාකටිංය. අර කොම්පැනියෙන් ශෝක ප්‍රකාශ නිකුත්කර ඇත. අර සංගමයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කර ඇත. බ්ලොග් වලත් සිදුවී ඇත්තේ මෙයයි. මෙය මාකටිංය. තමන්ගේ බ්ලොග් එකේ ඉලන්දාරියා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් නොකලේ නම් එය තමන්ගේ බ්ලොග් එකට හොඳ නැත (අනික් එවුන් මොනා හිතයිද?) කියන පැනය මත බොහොමයක් බ්ලොග් වල ඉලන්දාරියා ගැන වචනයක් ලියවුනි. ඒවා බොහොමයක් බොරු ආටෝපයන්ය. තැනක ඉලන්දාරියාගේ කඩවසම් බව ගැන ලියවේ. තැනක ඉලන්දාරියාගේ හොඳ ගතිගුණ ගැන ලියවේ. ඒවාට අනුව නම් ඉලන්දාරියා යනු සාමාන්‍ය මිනිසුන් නොකරන දේවත්වයට ආසන්න චරිතයකි.
ඕනි කෙනෙකුට මේක ඉලන්දාරියාට කරන අපහාසයක් කියා වර්ග කරගන්නට පුළුවන. නමුත් හේත්තුහාමි සඳහන් කලේ මෙහි සිදුවන දේය. අද කාලයේ විකුණනවානම් කඳුලු වුවද කම් නැත. මේ විකුණනවා යන්න සල්ලි වලට විකිණීම පමණක් නොවන බව කිව මනාය.
ඉලන්දාරියාගේ සැත්කමට සියළුදෙනා ඇප කැපවන්නේ සද්භාවයෙනි. ඉන් සෑහෙන මුදලක් බ්ලොග් කරුවන් විසින් සොයා ගන්නා ලදී. ඒ මුදල් සොයන්නේ කර්ණසංඛ බද්ධයකටය. නමුත් අදාල MRI පරීක්ෂණයට පසු මොලේ ගෙඩියක් ලෙස අප හඳුන්වන (Tumour) එකක් නිසා ඉලන්දාරියා රෝහලට ඇතුලත් වන්නේ එය ඉවත් කිරීමේ සැත්කමකටය. ගැටළුව ඇත්තේ මෙතැනය. ඉලන්දාරියාට සැබවින්ම ගැටළුව තිබී ඇත්තේ කර්ණසංඛයේද නැත්නම් ඉලන්දාරියාගේ ශ්‍රවණ ආබාධය තිබී ඇත්තේ උක්ත මොලේ ආබාධය නිසාද? එය සිදුවී ඇත්තේ මොලේ ගෙඩිය නිසා නම් කර්ණ සංඛයේ ආබාධයක් යැයි රෝග නිර්ණය කලේ කවුද?
හේත්තුහාමි සැබැවින්ම සිදුවී ඇත්තේ කුමක්දැයි නොදනී. සටහන ලියවෙන්නේ අදාල සමීපතමයින් සමග සාකච්ඡා කර ගොනුකරගත් කරුණු ඇසුරු කරගෙනය.
කෙසේ වෙතත් දැන් ඉලන්දාරියා නැත. සිදු වූ දේ සිදුවී ඇත. මේ කඳුලු වියලී යාමට මත්තෙන් ඒ කඳුලු වලට අගයක් දීමේ කාලය කාට කාටත් උදාවී ඇත. එවිට ඉලන්දාරියාට සාධාරණයක් ඉටුවනු ඇත. හේත්තුහාමිට කාට සාධාරණයක් වුනත් නැතත් කමක් නැත. ඒත් මෙහි සටහන් වුනේ සිදුවිය යුත්තය.

5/25/2011

එන්න කරුණාව වපුරවන්න..

සම්බුද්ධත්ව ජයන්තිය ඊයේ ඉවරවුනි. බඩු මිල ගැන ආයි ඔළුවට ආවේ ඊයේ හවසය. දැන් හෙට ඉඳන් ආයි ජයන්තයාගේ තාත්තාගේ ලොකුපාට් බැලිය යුතුය. ජයන්තයාගේ තාත්තාත් මරු පොරකි. බඩු මිල අඩු නම් ඕනෑ එකෙක් හොඳය. යුද්දෙ දිනකොට කිරිබත් කයි. බඩු මිල වැඩිවෙනකොට රාජයෝත්තමයානන්ට පලු යන්න බනී.
එහා ගෙදර සුද්දීගේ ලමයාට ඩෙංගුය. ඌ නම් තව දවස් දෙකකට වඩා ඉන්න පුළුවන් පාටක් නැත. දැනටම මැසිමෙන් දුවයි. සිහියක් පතක් නැත. අපරාදේ මේ පාර විස්ස විද්‍යාලෙට යන්න උන්නේ. ඌ ගියානම් අපිටත් වත්තේ එකෙක් හරි විස්ස විද්‍යාලෙට ගියා යැයි පාරම් බාන්නට තිබුනි. පත්තරේ හැටියටනම් මාසෙකට ඩෙංගු හැදෙන්නේ එකෙක් දෙන්නෙක්ටය. සිරිපාල උන්නැහේගෙත් ගනන් කිරිල්ලට අනුව ඩෙංගු හැදෙන්නේ මාසෙකට තුන් හතර දෙනෙක්ටය. එක අතකට උන්නැහේ මහන්ද අබේසුන්දර ලොක්කාට වඩා හොඳය. උන්නැහැ අඩු ගානේ ඩෙංගු මිනිස්සුන්ට හැදෙනවා කියලාවත් කියනවා නොවැ.කළුබෝවිල ඉන්න දොස්තරලා බොරුකාරයෝය. වාට්ටුවේම ඩෙංගු හැදිච්ච එවුන් විස්සකට වඩා වැඩිය. එක්කෝ උන් ආතල් එකට ඉස්පිරිතාලයේ ඇඳක බුදියාගන්න ආපු එවුන් වෙන්නටත් පුළුවන්ය. කාලෙකට ඉස්සර අර බැක්ටීරියාවක් ගේනවා කියලා කවුද කිව්වේය. ඒත් ඉතින් ඒකට ගිය කලක් නැත. අප්‍රිකාවේ මැලේරියාව පැතිර යනකොට ඒ වසංගතය නැවැත්තුවේ ඔය බැක්ටීරියාවෙන්ලුනේ. මම හිතන්නේ ලංකාවේ මදුරුවොන්ට ඕක හරියන්නේ නෑ. සේසතම විකුණලා හරි මදුරු කොයිල් පත්තු කරගෙන ඉන්නනෙ තියෙන්නේ. එතකොට මදුරුවොත් නෑ ඩෙංගුත් නෑ.
ඕකට රජයට බැනලා වැඩක් නැත. සිරිපාල උන්නැහේට ලංකාවේ ලෙඩ ඔක්කොම බලන්න වෙලාවක් නෑනේ ආයුබෝං. දවසකට තියෙන්නේ පැය විසිහතරනේ ඉතිං.
කොහොමහරි එහාගෙදර සුද්දිගේ කොල්ලා හෙට අනිද්දා ස්වර්ගස්ථ වෙනු ඇත. ඌ ගැන පත්තරේ වාර්තාවකුත් යනවා ඇත. ඌට මල කඳ උඩින් සුදු හුනු ගානු ඇත. ආයි ඩෙංගු වලින් එකෙක් මැරෙනු ඇත්තේ ලබන මාසයේය. බැක්ටීරියාව එන පාටක් නැත. අපි කොයිල් පත්තු කරමු. මුලින් ඩෙංගු මාරයාගෙන් ගැලවෙමු. ඊට පස්සේ සිරිපාල උන්නැහේ අපිට කොයිල් වලින් හැදෙන ලෙඩට බෙහෙත් ලබාදෙනු ඇත.

5/24/2011

වෙසක්.. වෙසක් ලාබයි වෙසක්...

මේ පාර පහුවුන වෙසක් කියන්නේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඒක සම්බුද්ධ ජයන්තියවත් බුද්ධ ජයන්තියවත් වෙන අහවල් එකවත් නෙමෙයි. ඒක නිසා පිලිවෙතින් පෙලගැහුන කවුරුත් ඒක දැනගෙන ඉන්න එක හොඳයි.
ඇයි තාත්තේ මිනිස්සු වෙසක් සමරන්නේ.
පොඩි එකා ඇවිල්ලා ඇහුවෙ නැතෑ ගොන් ප්‍රස්නයක්. මොන කෙංගෙඩියක්ද? හොඳ වෙලාවට සම්බුද්ධත්ව ජයන්තිය නිසා නියම උත්තරයක් ඔළුවට ආවා..
පුතේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා අදට අවුරුදු 2600 ක්නේ ඉතින් ඒක සමරන්න තමා.
බුදුහාමුදුරුවෝ බුදු වුනේ තොරණක් ලඟද තාත්තේ. ඒ වෙලාවටද ලෝකෙට වෙසක් කූඩු පහල වුනේ.
පුදුම කරුමයක්නේ මේක මුන් හැදුවට වැඩිය හොඳයි කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරලා දැම්මානම්.
කවුද මගේ පුතාට ඕවා කියා දුන්නේ.
ජයන්ත අයියා. ඉතිං තාත්තා ඇත්තද බොරුද කියලා කිව්වේ නෑනේ.
ඇත්තටම කල්පනා කරලා බලනකොට මේ තොරන් හොයාගත්තේ කවුද මන්දා? වෙසක් කූඩු කොහෙන් ආපු එකක්ද? වෙසක් කියන එක විකුනගෙන කන්නෙ කොයිවෙලාවෙද කියලා බලන් ඉන්නේ. ඔක්කොම බිස්නස් කාරයොන්ගේ දවස්. වෙසක් දවසේ මාළුකාරයා බඩගින්නේ ඉන්නකොට සව්කොල විකුනන එකා වැඩිපුර හම්බ කරනවා. දන්සල් දෙනවා ආතල් ගන්න වෙසක් කූඩු බලන්න තොරන් බලන්න එන එවුන් ඒවායින් කාලා බීලා යනවා. බාර් වහලා ඒත් කසිප්පු විකුණනවා. 14 වෙනිදට බාර් එකේ පෝලිම හැතැම්මක් දිගයි. මේකද වෙසක් කියන්නේ? මේක තමා නියම මෙව්වා එක.
මම හිතන්නේ මේ ගොන්පාට් ටික දරාගන්න බැරිවෙලා නැගිටින විප්ලවීය නායකයා තමා ඔය මෛත්‍රී බුද්ධ කියලා කියන්නේ. එදාට නියම බුද්ධ දර්ශනය මොකද්ද කියලා අපිත් හිටියොත් දැනගන්න පුළුවන් වෙයි. නැතත් මේක නියම බුද්ධ දර්ශනය නෙමෙයි කියන එක ඕන හරකෙක්ට තේරෙන්න එපැයි.
මොනාද තාත්තේ කල්පනා කරන්නේ.
පුත්‍රයාගේ සද්දෙට මම කල්පනා ලෝකෙන් විසික් වුනා. 
මුකුත් නෑ.
දැන් ගිහින් නිදාගන්න...
මම උත්තරයක් නොදී ෂේප් වෙලා ගියා. හෙට උදේට ඉස්කෝලෙ බුද්ධ ධර්මය උගන්නන එකා උත්තරයක් දෙන්නෙ නැතැයි.

5/06/2011

ඇනෝනිමස්ලා වෙත ආදරයෙන් ලියමි...

රටේ ලෝකයේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් කොච්චර තිබුනත් බ්ලොග් අවකාශයේ සිදුවන දේවල් ගැන පෝස්ට් එකක් නොලියාම බැරිය. කලින් නම් බ්ලොග්ස්පියරය තුල පිටත සමාජයට වඩා වෙනස් වූ කලාවක් ස්ථාපිත වුවත් දැන් නම් එහි හා පිටත කලාවේ මහලොකු වෙනසක් නැත.
සටහනට හේතුවන්නේ ඊයේ දුටු ඇනෝනිමස් ආතල් නම් වූ බ්ලොග් අඩවියයි. මාත් එක අතකින් ගත්තොත් ඇනෝනිමස් කෙනෙකි. නමුත් බ්ලොග් අවකාශයේ සුප්‍රසිද්ධ ඇනෝනිමස් යන කමෙන්ටුවක් වැටෙන්නේ එක්කෝ මාතෘකාවට පිට වල්පලයක් ලෙසය නැතිනම් අදාල පුද්ගලයාගේ රස්සාවක් පුරුද්දක් ගැන ගැරහීමටය නැත්නම් කුණුහරුප කීමටය. ඇනෝනිමස් යන පදය අපේ කාලයේ පැවතියේ "Secreat Admirer" ලෙසය එනම් තම අනන්‍යතාවය පෙන්වීමට අකමැති යමෙක් යොදන "මාතෘකාවට අදාල" කමෙන්ටුවක් ලෙසය. දැන් එයද ගෝලීය කරණය වී ඇත. ඇනෝනිමස් කමෙන්ටු මඩ ගැසීමට යොදාගෙන ඇත. එක අතකට එයද නරක නැත. කාට හෝ කුණුහරුපයෙක් බැනලා හෝ ආතල් එකක් ගන්නවා නම් එයද පුන්‍යකර්මයකි. මොකද හිතේ පැසව පැසවා තිබෙන කුණු පිටකිරීමට තැනක් වුවමනා බැවිනි. ඒත් හේත්තුහාමි එය පෞද්ගලිකව අනුමත නොකරයි.
මෙහි එක වාසියක් ඇත. එනම් බොරුකාරයින්ව අසුවීමයි. මොකද ලෝකයට ශාන්තුවරයින් සේ පෙනෙන උන් ඇනෝනිමස් කමෙන්ටු තුලින් නිරුවත් වීමය. නමුත් ඒ සඳහාද තමන් පෙන්වන දේ සහ ඇතුලත පවතින දෙයෙහිද පැහැදිලි වෙනසක් තිබිය යුතුය.
හේත්තුහාමිට නම් කවුරු කොහොම හිටියත් එකය. අදාල පුද්ගලයාගේ කකුල ඇදයි, අත ඇදයි, ගොතගහයි අරවා මේවා පෙන්නීම විවේචනයක් නොවේ. එය පුද්ගලික මඩ ගැසීම් වේ. මම ලඟදී එක පුද්ගලයෙකුගේ රස්සාව උගත්කම ආදිය පෙන්වමින් මඩක් ගසා තිබෙනු දුටුවෙමි. තවද තව පුද්ගලයෙකුගේ රූපය මෙහෙමයි ඌ කතා කරනකොට ගොත ගැසේ යැයි කියා ගොන් පාට් ඇනෝනිමස් කමෙන්ටු දුටුවෙමු.
ඇනෝනිමස්ලාට මම බය නැත. කවුරුත් බය විය යුතුද නැත.
ඒත් හේත්තු හාමිට ප්‍රශ්න කිහිපයක් සියළු ඇනෝනිමස්ලාගෙන් ඇසීමට ඉතුරු වී ඇත.
  1. කවුරුහරි එකෙක් ගෑනිට සලකන්නේ නෑ. වෙන ගෑනු එක්ක යනවා වෙන්න පුළුවන්. ඒක ඒ මිනිහාගේ ගෑනිට අවුලක් නැත්නම් ඇනෝනිමස්ලාට ඇති අමාරුව කුමක්ද? (උපකල්පනය - අදාල ඇනෝනිමස් ඉහත කිසිදු ස්ත්‍රී පාර්ශවයක් සමග ඥාති සම්බන්ධයක් නැති බව හා අදාල ස්ත්‍රියක් එම ඇනෝනිමස් කමෙන්ටුව නොදැමූ බව)
  2. කාගේ හරි රස්සාවේ පඩි අඩුයි ඌ ඉගෙන ගෙන නෑ කියන එක ඌට අවුලක් නැත්නම් ඇනෝනිමස්ලාට ඒගැන ඇති අමාරුව කුමක්ද?
අපේ වත්තේ පින්ලිඳ ලඟ කයිවාරු ගහන ඇග්නස් හෝ ලීලාවතී හෝ රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනිය සහ මේ ඇනෝනිමස්ලාගේ වෙනසක් මට නොපෙනේ. ඒ සමහර විට හේත්තු හාමිගේ පෞද්ගලික අවුලක් වෙන්නත් පුළුවන. ඒත් අවුලක් නැත මගේ අවුල මට හොඳය.

5/03/2011

අළුත්ම Trend එක.. අහවලා නැවත බ්ලොග් නොලියයි...

කවුරු බැලුවත් නැතත් හේත්තු හාමි onezerozero බලයි. ඒක මරු වැඩකි. වචන සීයෙන් කතාවක් ගොඩ දාන්නට ගොස් හේත්තුහාමිද වරද්දා ගත්තේය. කියන්න යන කතාව වෙන එකකි.
මේ දවස්වල හොඳ බ්ලොග් කියා ඇත්තේ අල්පයකි. ඒවා නම් වශයෙන් කියන්නට යන්නේ නැත්තේ දන්නෝ දන්නා නිසාය. මුල් දිනවල සිට හේත්තු හාමි බ්ලොග් කියවයි. වර්තමානයේත් හේත්තුහාමිට සාපේක්ෂව කුජීත බ්ලොග් වල සිට හොඳ බ්ලොග්ද කියවයි. හේත්තු හාමි බ්ලොග් ලියන්නේ තම ආතල් එකටය හේත්තුහාමිට මේවා කවුරු බැලුවත් එකය නොබැලුවත් එකය. (හිතේ හිරවෙලා තියෙන අහවල් එක එලියට දාගන්න එකම මදැයි.) දැන් නම් බ්ලොග් ලියන උන් ලියන්නේ කමෙන්ට් හිට්ස් බලාගෙනය පටන් ගත්තුගමන් සින්ඩියකට වඳී. අරයට වඳී මෙයාට වඳී. පස්සේ ලියන්නේ කඳුලු කතාය. ඒවාට පැණි කතා කියලාත් කියන්න පුළුවන. අමතරව මම අරවා කෑවා මේවා කෑවා. මගේ අරහේ රෑෂ් එකක් ආවා ඒක නිසා බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඔයාලාට පාළුද?
දුකට හේතුව මේවා කියවන පාඨකයෝ රැලක් ඉඳීමය.. ඒ නිසා ඔවුන් තව උත්තේජනය වී තව බ්ලොග් ලියයි. බැරිවෙලාවත් කමෙන්ට් නැතිවුනොත් තමන්ගේ පාඨකයන් ගණන පරීක්ෂාවට උන් බ්ලොග් ලිවිල්ල නවතා දමයි. මදි පාඩුවට පාඨකයාට දුක හිතෙන්නට කවියක්ද යොදයි. එතකොට පාඨකයින්ට දුක හිතී "අනේ යන්න එපා කියලා කන්නලව් කරයි." එවිට බ්ලොග් කරුවාගේ සංවේදී හිත උණුවී නැවත ලියන්නට සිත්වී ලියන්නට පටන් ගනී. අනේ අර කමෙන්ට් දාපු උන්ගැන මට අධෝ මුඛයෙනුත් දුක සිතේ.
මේ වර්තමාන ලාබ බ්ලොග් කෙරුවාවය. ලිවීම හොඳ දෙයකි. නමුත් සිරස බ්ලොග් ලිවිල්ල පටන් ගත්තද මීට වඩා වැඩි වෙනසක් නැත. 

5/02/2011

මැයි දිනයට පසු...

ඔන්න මැයි දිනෙත් ඉවරලු. රතු පාට ටී ෂර්ට් එක ඊයේ හවසම හෝදලා දාලා ආයි හෙට වැඩට යනවා. ඒත් තාම මාසෙකට කිරිපිටි පැකට් එකයි ගන්න පුළුවන්. ඊයේ උඳන් මොනාද පටන් ගන්නවා කියලා ලාල් කාන්ත මහත්තයාත් කිව්වා වගේ මතකයි. කොම්පැනිකාරයෝ අපි වැඩ කරන ප්‍රමාණය පාවිච්චි කරලා ඒ වගේ තුන්ගුණයක් විතර ලාබ ගන්නවා. අපි ඉතින් වහල්ලු වගේ වැඩ. හැම එකාම රජයේ රස්සා හොයන්නේ අයිස් ගහන්න පුළුවන් නිසා වෙන්න ඇති. අනික ඉතිං පෙන්ෂන් එකත් තියෙනවානේ. අපේ පොඩි කොලුවා ඉස්කෝලෙ රචනාවකට ලියලා රැකියා කරන්නන් වෙනුවට රැකියා මවන්නන් හදන්න කියලා. මේ ආර්ථික ක්‍රමය යටතේ නම් කරන්න තියෙන්නේ ඒක තමා. දැනට යන ක්‍රමයේ පැවැත්ම තියෙන්නේ එතන. මොකද අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා දාර්ශනික වැඩ කියලා පඩි ගෙවන්නේ නිකංම නිකං මීහරක් රැලකටනේ. මන්ත්‍රීලා කියලා හිටියට අළුත් සංකල්පයක් ඔළුවට එන්නේ සල්ලි ටිකක් අතට මදිවුනාමනේ ආයුබෝං..... ආයි ඉතිං ඊලඟ මැයි දිනයට යනකම් ෂර්ට් එක ඔහේ තිබ්ච්චදෙන්? අව්වෙ කරවුන ටික විතරයි කියලා ගිය අවුරුද්දෙත් හිතුනා. මේ අවුරුද්දෙත් හිතුනා. ලබන අවුරුද්දෙත් හිතෙනවා කියලා දන්නවා. ඒත් අපි මැයි දිනේට යන්න ඕන. මොකද එදානේ කම්කරුවාගේ දවස.....